ලේකම් මහතාගේ පණිවුඩය

‘ස්වර්ණ පුරවර සමිමානයෙන් පිදුම් ලද කුලියාපිටිය නගර සභාව වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය සඳහා ප්‍රථමයෙන් සුභපතමි. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනයේ ප්‍රමුඛ කාර්යය භාරයක් සිදු කරන පළාත් පාලන ආයතනයක් ලෙස කුලියාපිටිය නගර සභාව එම කාර්යයන් ඉටු කිරීම සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගැනීමට කටයුතු කරන අතර, මෙම වෙබ් අඩවිය නිර්මාණයද එහි එක් පියවරක් ලෙස සඳහන් කරමි.

පළාත් පාලන ආයතනයක් වශයෙන්, කුලියාපිටිය නගර සභාවේ පොදු භූමිකාව ලෙස මහජන සෞඛ්‍ය, මහජන උපකාරක සේවා, පොදු මංමාවත් පිළිබඳව සියලු කාරණා විධිමත් කිරීම, පාලනය කිරීම, පරිපාලනය කිරීමටද, මහජනතාවගේ සැප පහසුකම් සඳහා සුභ සාධක කටයුතු සහ සුඛ විහරණ ක්‍රම ආරක්ෂා කිරීම ද හැදින්විය හැක.

ඉහත කරුණ මූලික කර ගනිමින් කුලියාපිටිය නගරයේ ජනතාව විසින් ගෙවන බදු මුදල් සහ රජයෙන් සහ වෙනත් ආයතන මඟින් ලබා දෙන ආධාර නිසි පරිදි කළමණාකරණය කරමින් ජනතාවගේ යටිතල පහසුකම් සහ සුඛ විහරණ විධි වැඩි දියුණු කරමින් පරිසර හිතකාමි අලංකාර නගරයත් බිහි කිරීම සඳහා වූ මෙහෙවර ඉටු කිරිම නගර සභාවේ සේවය කරනු ලබන අප සියලු දෙනාගේම ඉලක්කය වේ.මෙම කාර්යය තවදුරටත් වි‍ධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීමටත් විනිවිද භාවයෙන් සහ ජනතාවට පහසුවන ආකාරයෙන් සිදු කිරීමටත් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරිම තුලින් අප බලාපොරොත්තු වෙමු.

කුලියාපිටිය නගර සභාව සඳහා වෙබ් අඩවිය නිර්මාණය කිරීමට නගර සභාවේ දේශපාලන අධිකාරිය සහ නගර සභා කාර්යය මණ්ඩලය දැක්වූ සහයෝගය අගය කරමි.එමෙන්ම මෙම වෙබ් අඩවිය නිර්මාණය සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දුන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයටද ගෞරවනීය ස්තූතිය පුද කරමි.මෙම වෙබ් අඩවිය මඟින් නගර සභාවේ සහ නගර සභාව සම්බන්ධව අදාල කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, සේවාවන් ඉටු කර ගැනීමේ පහසුකම්ද සලසා ඇත.නගර සභාවේ සේවාවන් ඉටු කර ගැනීමට අවශ්‍යතාවයන් පවතින සහ උනන්දුවක් දක්වන සියලු දෙනාටම ඒ සඳහා වෙබ් අඩවිය මඟින් පහසුකම් සලසා ගන්නා ලෙස ආරාධනය කරමි.නගර සභාවේ කාර්යයන් තවදුරටත් ප්‍රශස්ථ මට්ටමින් හා ඔබ බලාපොරොත්තු වන ආකාරයටම ලබා දීමට අවශ්‍ය යෝජනා සහ අදහස් අප වෙත ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

එච්. එම්. පී. කේ. හේරත්,
ලේකම්, කුලියාපිටිය නගර සභාව